ගුටිකෑ පිරිස වෛද්‍ය පරීක්ෂණයට නොඑති


කොම්පඤ්ඤවීදිය මෝගන් වීදියේ වරාය අධිකාරියට අයත් ස්ථානයකට ඇතුළු වී සේවකයන් පිරිසකට පහර දුන් බවට පොලිසියට පැමිණිලි කළ  ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සාමාජිකයන් මෙතෙක් වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී නොවූ බව කොම්පඤ්ඤවීදිය පොලිසිය අද (09) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැන්වීය.

පසුගිය වසරේ ඔක්තෝබර 21 වැනි දා අයුතු ඇතුළුවීම සහ සේවකයනට පහරදීමට සැපිට එවකට විපක්ෂ මන්ත්‍රීවරුන් වූ   රවී කරුණානායක,   අජිත් පී පිරේරා, ආර් යෝගරාජා, නලීන් බණ්ඩාර සහ ජාතික සේවක සංගම් නියෝජිතයෝ දෙදෙනෙක්  ඇප පිට සිටිති.

එම ස්ථානයට ගිය මන්ත්‍රීවරුන් චෝදනා කළේ ඡන්ද සමයේ වරාය සේවකයන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්‍රචාරක වැඩ කළ බවයි.

මෙය බොරු පැමිණිල්ලක් බවත්, එය පෞද්ගලික දේපලක් නොව රජයේ දේපළක් නිසා අයුතු ඇතුළුවීමක් සිදු නොකළ බවත් කියමින් සැකකරුවන්ගේ නීතීඥවරු ඔවුන් නිදහස් කරන්නැයි ඉල්ලූහ.

නඩුව ඉදිරියට ගෙන යෑමට පැමිණිල්ලට අවශ්‍ය නැති නම් චෝදනා ඉල්ලා අස් කර ගත හැකි බව මහේස්ත්‍රාත්වරයා කීවේය.

නීතිපති උපදෙස් පතා ඇති හෙයින් චෝදනා මේ මොහොතේ ඉල්ලා අස් කර ගත නොහැකි බව පොලිසියට මහේස්ත්‍රාත්ට දැන්වීය.

නීතිපති උපදෙස් සඳහා ජුනි පළමු වැනි දා ට නඩුව කල් තැබූ මහේස්ත්‍රාත් නොතීසි ලදහොත් පමණක් අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුවන්ට දැන්වීය.